ගම්මැද්දේ ඔසු උයන








අකලට මහලු වීම වළක්වන,තරණ බව රැකදෙන අමුක්කරා.....


withania somnifera(L) Gunal / physilis somnifera L. යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එසේම කන්ඨකාරී(SOLANASEAE) කුලයට අයත් වන මෙම ශාකය අස්ගොඳු යන සිංහල නාමයෙන්ද හඳුන්වයි. Indian ginseng, poison gooseberry, winter cherry යන ඉංග්‍රිසි නාමයන්ගෙන්ද හඳුන්වන මෙම ශාකය ද්‍රවිඩ භාෂාවෙන් හඳුන්වන්නේ පිල්ලි අංගා, අමුක්කීරම්, අමුතුලංගා, අමුක්කරා යන නම් වලිනි. අශ්වගන්ධා යන නම පැමිණ තිබෙන්නේ මෙම ශ‍ාකයේ අල නැතිනම් අමු මුල් පොඩි කල විට අශ්ව මුත්‍රා වල ගන්ධයට සමාන ගන්ධයක් ඇති කරනා නිසාවෙන් යැයි අදහසක් ඇත. සකු බසින් එම නාමයට අමතරව පර්යාය නාම රාශියක් අශ්වගන්ධා ගෘකය හැඳින්වීමට යොදා ගෙන ඇත. ඒ අතරින් සෘක්ෂගන්ධා, තුලාංහණ, වර්ගකාරී, ප්‍රියකාරී, ශ්‍යාමලා, අවරෝහිකා වාතඝනී, බලජා වාජිනී, අශ්වාරෝහිකා, තුරඟගන්ධා, කුෂ්ඨගන්ධ, වර්ගාත්‍රකරී, කුෂ්ඨගන්ධිනී, ගන්ධපත්‍රී,පාලපර්ණි, අශ්නක්ධිකා, අශ්වාරෝහ, අශ්වකන්ධිකා, බල්‍යා, තුරඟී, වරාහකර්ණ, වාරිගන්ධා වැනි පර්යාය නාම වැඩිපුර භාවිතා වේ.

වියලි දේශගුණික කලාප වල බහුලව සහ පහසුවෙන් වැවෙනා මෙම ශාකය ශ්‍රී ලංකාවේද වියලි කලාපිය කැලෑ ආශිත ප්‍රදේශවල පහසුවෙන් සොයා ගත හැකි ශාකයකි. උතුරු ඉන්දියාව, පාකිස්ථානයේ උතුරු ප්‍රදේශ වල සේම අරාබි රටවල සහ අප්‍රිකානු වියලි ප්‍රදේශ වලද මෙම ශාකය බහුල වශයෙන් ව්‍යාප්තව ඇත. පඳුරු ශාකයක් වන අමුක්කරා ශාකය උපරිම වශයෙන් මීටර් එකක් පමණ උසට වැඩෙන ක‍ඳ කොටසෙහි දැඩි බූව ඇති අර්ධ කාෂ්ඨීය ශාකයකි. 




ආයුර්වේද සංස්කාරිත ඖෂධ අතර අමුක්කරා ප්‍රධානව අඩංගු වන සංස්කාරිත ඖෂධ(අරිෂ්ට, ඝෘත, චූර්ණ, ආසව, ලේහ, රසායන සහ තෛල) රාශියක් ඇත. මේවායේ මුලික ද්‍රව්‍ය වන්නේ අමුක්කරාය. බොහෝ දෙනා නොදැනුවත් කම නිසා අශ්වගන්ධා/අමුක්කරා රසායන වාජීකරණ ද්‍රව්‍යක් ලෙස පමණක් සැලකීමට පුරුදුව සිටියත් බොහෝ රෝග අවස්ථා වලදී අවස්ථානූකූලව පළපුරුදු සහ දක්ෂා වෛද්‍යවරයා අශ්වගන්ධා අඩංගු ඖෂධ රෝග ශාන්තිය සඳහා නිර්දේශ කරයි.



මෙය ස්නායු උත්තේජනය හා ශක්තිමත් කිරීම මෙහි ඇති ඖෂධීය ගුණයකි. වේදනා නසයි. නින්ද ඇතිකරයි. බඩගින්න වඩන අමුක්කරා ශරීරය පුෂ්ටිමත් කරයි. ලේ පිරිසුදු කරයි. මළබද්ධය නසයි. අකලට මහළු වීම හා ජරාවට පත්වීම වළකයි.විවිධාකාරයෙන් අමුක්කරා අත්බෙහෙත් ලෙස ප්‍රයෝජනයට ගැනේ. අමුක්කරා කළං දොළහක් කපා කොටා, වතුර පත හතර, පතට සිඳුවා, කිරි පත දහයක් හා ගිතෙල් පතක්දමා, මද ගින්නේ කකාරවා මිදුණු ගිතෙල් වරකට තේ හැන්ඳක්, එළකිරි සමඟ උදේ සවස බීමෙන් කෘශ වූ සිරුරු ඇති දරුවන් පෘෂ්ටිමත් හා ශක්තිමත් වේ.කුඩු කර ගත් මුල් ග්‍රෑම් 3 ක් බැගින් දීම සුදුසු වන්නේ ප්‍රතිශ්‍යාව හා කැස්සටයි. ගෙඩි සහ ඇටවල ද කැස්ස නැසීමේ ගුණයක් පවතී. අමුක්කරා මුල් කුඩු කර ගෙන, වරකට ග්‍රෑම් 3 බැගින් ගැනීම සන්ධි ඉදිමුම් හා වේදනා සඳහා යෝග්‍යයයි.එසේම නින්ද නොයෑමට ද අමුක්කරා අත්දුටු බෙහෙතකි. අමුක්කරා මුල් කුඩු කර වතුරට දමා බීමෙන් නින්ද ඇතිකරයි. ශාරීරික දුර්වලතාවලටද අමුක්කරා ගුණදායක ඔසුවකි.

ශ්වසන ක්‍රියාවන්හිදී සෙම නශන සහ ශ්වාස නසන ගුණයෙන් යුක්ත වන නිසා කැස්සට සහ ශ්වාසයට ගිතෙල් මී පැණි සමඟ අමුක්කරා ක්ෂාරය යොදයි.තවද අශ්වගන්ධ අවලේහය පුරුෂ නපුංසකත්වය දුරුවේ ප්‍රමේහ හා සියලු වාත රෝග නැසේ උතුම් වාජිකරණයෙහි ගුණ ඇති යෝගයක් වශයෙන් හඳුනාගත හැක.

එසේම මෙහි ඇති වෙනත් ප්‍රයෝජන ලෙස කිරි ලබා ගැනීමේ හැකියාව මේ ශාකය සතුව පවතින හෙයින්, චීස් සෑදීම සඳහා යොදාගත හැකියි. කෘමිනාශක ගුණ ඇති හෙයින් ගොවිතැනේදී යොදා ගැනේ.

අමුක්කරා ඖෂධයේ අඩංගු රසායනික උපදාන

නිද්‍රාකාරක (Hypnotic) සහ ශාමක (Sedative) ගුණ ඇති සොමිනිෆෙරීන් (Sominiferine) නමැති තික්ත උක්ෂාරසයද පොටෑසියම්, ටැනින් සහ වර්ණකාරක, ග්ලුකෝස් ආදී සුළු වශයෙන්ද අඩංගුය.


ලිංගික ක්‍රියාවලිය සදහා ශක්තිමත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සදහා අමුක්කරා වලින් සාදාගන්නා ලද අත් බෙහෙත් පෙන්වා දියහැකි වේ.



  • අමුක්කරා අල ,  තල , තිප්පිලි , සමාන ප්‍රමාණවලින් අරගෙන හොඳට චූර්ණ වෙනකල් අඹරාගන්න . මේ මිශ්‍රණය එක වරකට කලං භාගය ගානේ ගිතෙල් මීපැණි එක්ක කලවම් කරලා ආහාරයට ගන්න .

  • අමුක්කරා අල , බින්තල් අල , රට ඉඳි , උඳු , වියලි මුද්දරප්පලම් , සමාන ප්‍රමාන අරගෙන චූර්ණ වෙනකල් අඹරාගෙන මීපැණි ගිතෙල් එක්ක එක වරකට කලඳ ගානේ ආහාරයට ගන්න .

  • අමුක්කරා අල , ඉකිරි ඇට , ගොකටු , උඳු , එළ ඉඹුල් මැලියම් , වැල්මී , බින්තල් , සමාන ප්‍රමාණ අරගෙන චූර්ණ කරලා වරකට කලං එකහමාර ගානේ ආහාරයට ගන්න . මේක ලිංගික ගැටළු ගොඩකට හොඳ ප්‍රතිකාරයක්.

  • අමුක්කරා , උඳු , වැල්මී , කිරිබදු , හාතාවාරිය අල , වැල් පෙනෙල මුල් , ඉරමුසු , වඳුරු මෑ ඇට , කියන ඒවායින් කලං එකහමාර ගානේ අරගෙන වතුර පත 8ක් එකතු කරලා පත එකකට හිඳගන්න . මේක පස්සේ පෙරලා අරගෙන උදේ හවස සීනි සහ මීපැණි එක්ක කෝප්ප භාගය බැගින් සතියක් විතර බොන්න .

  • අමුක්කරා අල , වියලි කිරිබදු අල , වැල්මී , මේවායින් සමාන ප්‍රමාන අරගෙන සියුම්ව කුඩු කරගෙන වරකට කලං දෙක ගානේ උදේ හවස බටර් , ගිතෙල් හෝ මීපැණි එක්ක ආහාරයට ගන්න .

ඒ් වර්තමානයේ දී බොහෝ දෙනා නොදන්නා වූ බෙහෙතක් ලෙස මෙම අමුක්කරා නැතහොත් අශ්වාගන්ධ පෙන්වා දියහැකි වේ.







Comments

Post a Comment

Popular posts from this blog

වැල් පෙනෙල

කටුවැල් බටු